හොඳ අම්මා, හොඳ තාත්තා සහ හොඳ පුතා


මේ කතාව හිතට ආවේ එක පවුලක් නිසා නම් නෙවෙයි.මට පෙනුනු විධියට පවුල් 3ක් ඉන්න ඕනෙ.මේක ලියන්න ඕන කියල හිතිලා ගොඩක් කල් වුනාට ඒක ඉක්මන් වුනේ පසු ගිය සතියේ වෙච්ච සිදුවීමකින්.

අසනීපයකට බෙහෙත් ගන්න පිටකෝට්ටේ දොස්තර මහත්මයෙක් ළඟට ගිය මමත් බිරිඳත් අපේ වාරය එන තුරු ඉඳගෙන හිටියා.ටික වෙලාවකින් ආපු තරුණ අම්මා කෙනෙකුයි පොඩි පුතෙකුයි අපිට ආසන 3ක් පමණ එහායින් ඉඳගත්තා.පොඩි පුතා නම් ටිකක් දඟ වග පෙනුනා.අම්මා ඒ කිසිදෙයක් වළක්වන්නට වත් තරවටු කරන්නටවත් කිසිම විටක පෙළඹුනේ නෑ.ඇගේ දිහා බැලුවහම ඇය එතරම් ධන ධාන්‍යයෙන් ආඪ්‍ය නොවන වග පෙනුනා.ඒත් සංතුට්ටී පරමං ධනං කියනවනේ.එහෙම බැලුවාම නම් ඒ අම්මයි පුතයි බොහොම ධනවත් වග එතන හිටපු හැමෝටම පෙනුනා.කඩිය වගේ එහෙ මෙහෙ දුවන පුතා ටික වේලාවකින් හැමෝගෙම අවධානය දිනා ගත්තා.මහන්සි වෙච්ච පුංචි බබාට දැන් වයස අවුරුදු 1යි මාස 4යි කියලත් එයාගෙ අම්මා අවට හිටපු අයට කිව්වා.බබා ඇවිත් තියෙන්නේ එක පාරක් බේත් අරන් හොඳ නොවුනු සෙමට ආයිත් බේත් ගන්න.බබා දැන් ජෝජො ඉල්ලනවා.හරි වැඩේ.අම්මට ජෝජො බෝතලේ ගේන්න අමතක වෙලා.බබාවත් වඩෝගත්ත අම්මා ටික වෙලාවක් අතුරුදන් වුනා.විනාඩි 5කට විතර පස්සෙ බබා පොඩි ක්‍රීම් සෝඩා බෝතලේකුත් එක්ක ආවා.ඊට පස්සේ බබාගෙ හුරතල් එතන හිටපු හැමෝම සිනා මුසු මූණින් බලා හිටියා.එක විදියකට එක තැනක නොඉන්න බබා එක්ක අම්මත් බොහොම කැමැත්තෙන් එහෙ මෙහෙ දිව්වේ හරියට මේ ඊයේ හම්බුන බබෙක් ආසාවෙන් බලාගන්නවා වගේ.බහ තෝරන වයසේ හිටපු බබාගේ කල්පනාව බොහොම තියුණු වග එයා කරපු කියපු දේ වලින් පෙනුනා.ටික වෙලාවකින් ටිකක් ලොකු අක්කෙකුයි, ඉපදිලා මාසයක් විතර වෙන චූටි මල්ලියෙකුයිත් ඒගොල්ලන්ගේ අම්මලා එක්ක ආවා.බබා දුවලා ගිහින් එයාගේ බීම බෝතලේ ඒගොල්ලන්ටත් දුන්නා.

මම රැකියාවට යන්නේ කොම්පඤ්ඤවීදියේ මුඩුක්කු පේළියක් මැදින්.සමහර ගෙවල් වල අම්මලා බහ තෝරන ළමයින්ට කතා කරන්නේ අසභ්‍ය වචන වලින්.එහෙම ඇහෙන කොට ඇත්තටම කණගාටු හිතෙනවා.මේ අම්මා ඕන නම් ඊට වඩා ටිකක් හොඳ තැනක ජීවත් වෙනවා ඇති.ඇය එතරම් උගත් වගක් වත් රැකියාවක යෙදෙන බවක් වත් පෙනුනෙත් නෑ.ඒත් අර පුංචි ළමයා කිසිම නරක වචනයක් වත් නරක හැසිරීමක් වත් පෙන්නුවෙ නෑ.හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ ඒ පොඩි බබාව හොඳට හදන බව එතන හිටපු ඔක්කොටම පෙනුනා.තරුණ වැඩිහිටි අයට බබා කතා කළේ මාමා කියලා.අක්කා, තාත්තා,කඩේ, ජෝජො, කුක්කූ කියන්නත් බබා දැනගෙන හිටියා.බබා හැමතැනම දිවුවත් අම්මා නෙමෙයි සැර කළේ.මේ දර්ශනේ වීඩියෝ කරළා කවදා හරි බබා තරුණයෙක් වෙච්ච දවසකදී ලැබෙන්න සැලැස්සුවානම් එයාට තේරෙයි අම්මා කොච්චර හොඳද කියලා.අගනා මැණික් ඉතිං කළුගල් අතරෙ වුනත් හැදෙනවානෙ.

මීට මාස 3කට හෝ 4කට කලින් බොරැල්ලෙන් බස් එකට නැග්ගා ඉස්කෝලේ 3නේ 4රේ වගේ ඉන්න දුවෙකුයි එයාගෙ තාත්තයි.දුවව ඉස්කෝලේ ඇරලවන්නේ තාත්තා.ඒත් ඒ තාත්තගේ එක් විශේෂයක් තිබුණා.තාත්තට තිබුනෙ එක පාදයයි.දුවව බස් එකට නග්ගවලා මේ තාත්තත් අමාරුවෙන් කිහිලි කරු ආධාරයෙන් බස් එකට ගොඩ වෙනවා.දුවටත් ඔනෙ නම් තනියම ඉස්කෝලේ යන්න පුළුවන් වග පෙනුනත් තාත්තා නිතරම ඇය කැටුව යන වග පෙනුනේ මේ ළඟදිත් දෙන්නව බස් එකේදි දුටුව නිසයි.මේ වගේ ආබාධයකුත් එක්ක ඕනෑ හැටි මේ වැඩෙන් කර අරින්නට පුළුවන් තාත්තා එහෙම කරන්නේ නැති වග පෙනෙනට තිබුණා.අනං මනං හේතු කියලා වැඩ වලින් අමාරුයි කියලා කට්ටි පනින කාටත් මේ තාත්තා හොඳ ආදර්ශයක්.

සමහර ළමයින් නම් ඉතින් හොඳ තත්වෙකට ආවම දෙමවුපියන්ව අත අරිනවා.ඒත් තමනුත් දරුවනුත් මොන තත්වේ හිටියත් දෙමවුපියන් දරුවන් කීයටවත් අත අරින්නේ නෑ.අපේ අම්මලා තාතලාත් ඉතිං එහෙමනේ.

මට මතක විධියට මේ සිද්ධිය නම් වුනේ මීට අවුරුදු එකහමාරකට හරි දෙකකට විතර හරි ඉහතදී.ඒ දිනවල මමත් මගේ බිරිඳත් විවාහ වීමට සූදානමින් සිටි කාලෙ.අපි ගියා දතක එක්ස් රේ එකක් ගන්න බත්තරමුල්ලේ පිහිටි දන්ත ශල්‍යාගාරයකට.එතනට ඇවිත් හිටියා කැපී පෙනෙන පෞරුෂයකින් යුතු පුද්ගලයෙක්.බැලූ බැල්මට ඔහුව දිස්වුනේ යටත්විජිත සමයේ ආඩම්බරකාර වතු සුපිරින්ටන්ඩන් කෙනෙක් වගේ.ඔහු වෛද්‍යවරයාවත් දන්නා වග පෙනුනා.දෙදෙනාගේ කතා බහ කෙරුනෙත් ඉංග්‍රීසියෙන්.හුගේ බිරිඳත් ඔහු සමග පැමිණ සිටියා.ඇයත් ඉහළ පන්තියක වග බලන අයට තේරුම් ගියා.අතින් අල්ලාගෙන ඔහුත් බිරිඳත් ආඩම්බරයෙන් එහා මෙහා කැටුව ගියේ සරමක් සහ කමිසයකින් සැරසී උරහිසට ලේන්සුවක් දැමූ පාවහන් නොපළඳින වයස්ගත පුද්ගලයෙක්.සීයා ඈත දුර බැහැරක වග කාටත් තේරුනා.ඔවුන් තිදෙනා මද වේලාවක් මා අසළ රැඳී සිටියා.ඔවුන්ගේ කතා බහේ අතරින් පතර කොටස් මටත් ඇහුනා.

පුතේ මම දොස්තර මහත්තයට මෙහෙම කියන්නද?,පුතේ මම දොස්තර මහත්තයට මෙහෙම කිවුවා,පුතේ අරම කරන්නද? මෙහෙම කරන්නද?පුතේ දොස්තර මහත්තයා මොකද කිව්වෙ? සීයට ප්‍රශ්න වැලයි.කොටින්ම සීයා හුස්ම ගත්තෙත් පුතාගෙන් අහලා. මේවට අර පුද්ගලයත් දොස්තර මහත්තයා මෙහෙම කිවුවා තාත්තේ,අරහොම කිවුවා තාත්තේ කියමින් පිළිතුරු දෙනවා.

දෙදෙනාගේ කතාවෙන් තේරුණේ ඒ දෙන්නා තාත්තයි පුතයි වග.සීයා පුතාගේ අත අල්ලාගෙන එහා මෙහා ගියේ මේ මගේ පුතා කියන්නාක් මෙන් බොහොම සන්තෝසෙන්. ගම් වලින් ඇවිල්ලා ගොඩ ගිය බොහෝ දෙනෙක් වගේ මේ පුතත් ඔහුගේ බිරිඳත් පිරිහිලා හිටියෙ නෑ.තමන්ගේ ගමේ තාත්තවත් ඔවුන් බොහොම සන්තෝසෙන් ආඩම්බරෙන් නගරබද පැළැන්තිය හැසිරෙන තැනක එහා මෙහා එක්කන් ගියා.ඒ තාත්තා අනිවාර්‍රයෙන්ම ඒ පුතා පොඩි කාලෙදි හොඳින් බලා ගන්න ඇති.ඒකෙ ප්‍රතිඵල ඉතින් තියනවනේ.

හොඳ අම්මයි, හොඳ තාත්තයි, හොඳ පුතාගෙයි කතාව ඔන්න ඕකයි.හොඳ දුවලත් ඇති. ඒත මතක හිටින විදියකට තාම දැක්කෙ නෑ.දැකපු දවසක අනිවාර්‍රයෙන්ම ඒකත් පල කරන්නම්.