අනේ අපොයි ෆේස් බුක්

මම මේක ලිවුවේ වැට නැති කටේ මද්දු සහෝදරයගෙ Facebook තහනම,අද හෙටම?? ලිපියට කමෙන්ට් එකක් හැටියට.දිග වැඩි වෙලා කමෙන්ට් එක පෝස්ට් කරගන්න බැරි වුනා :( .ඒක නිසා හිතුවා මෙතනවත් දානවා කියලා.


හොඳ ලිපියක්.ලංකාවේ මිනිස්සුන්ගේ (බහුතරයකගේ) හැටි හොඳට වටහාගෙන ලියලා තියනවා.

ඇත්ත.අපි කාර් එකක් එලවන්නෙ තනියම යම් තත්වයකට ආවට පස්සෙනෙ.ඒත් පොඩි පොඩි මිස්ටේක් මුලදි වෙනවා.මේ හැමදේටමත් ඒක ඇත්ත.පොඩි හරි පූර්ව සොයා බැලීමක් කරලා ආවනම් මෙච්චර ප්‍රශ්න නොඑන්න පුළුවං.වාහනේ අතට ගන්නකොටම අපිට තේරෙනවනේ මේක ටිකක් රිස්කි.හරියට නොකළොත් පදිකයො මැරෙන්න පුළුවං, අපි මැරෙන්න පුළුවං, නැත්තං වෙන වාහනවල එන අය මැරෙන්න හරි තුවාල වෙන්න හරි පුළුවං කියලා.ඒත් ලංකාවෙ ගොඩ දෙනෙක්ට අන්තර්ජාලය සම්බන්ධව මෙහෙම දේවල් පේන්නෙ නෑ.සමහරු හිතනවා මේක මේ සුරබිදෙන වගේ එකක්, ඒකෙ තියන ඔක්කොම ඇත්ත.නියමයි.හරි ෂෝක් කියලා.යන්තම් අතපත ගාපු සමහරු නිකං ඒ බව අඟවන්නෙ හරියට සක්‍රයා කියපු දෙයක් අනික් අයට කියනවා වගේ.කොටිංම ලංකාවේ කම්පියුටර් ඩිප්ලෝමා විකුනන කඩ කාරයෝ පෝස්ටර් වල ගහන්නේ අවසානයේ ඉන්ටර්නෙට් ඊ මේල් නොමිලේ උගන්වනු ලැබේ කියලා.හරියට නිකං මාර ලක්ෂරියක් වගේ.

මමත් මූණු පොතෙං ඉවත් වෙලා සෑහෙන කල්.ඒත් සබ්ජෙක්ට් එක ගැන සෑහෙන අප් ටු ඩේට් ඉන්න ලැබුනා. ඒකෙ ඔය ජීවිතේ අනික් කොයි දේකත් වගේ හොඳ නරක දෙකම තියනවා.

ලංකාවට රේඩියෝ එක ආවා.සමහරු හිතුවා ඒක මාර වැඩක් කියලා.උජාරුවට කන පැළෙන්න අනිත් මිනිස්සුන්ට කරදර වෙන විදියට රේඩියෝ දාන පිරිසක් බිහි වුනා.ඊට පස්සෙ ටී වී ආවා.සුපුරුදු පරිදි එක් බුද්ධිමත් වග පෙන්වන්න කැමති පිරිසක් එක් අන්තයකට ගිහිං වැරදිම කිවුවා.තව පිරිසක් හොඳම කිවුවා.තෝරලා බේරලා නියම ස්වභාවය කියපු අයත් හිටියා(මට හිතෙන්නෙ ඒ අය තමා සැබෑ බුද්ධිමත්තු).ඒකටත් පිරිසක් ඇබ්බැහි වුනා.කෝපි කඩේ වෙලාවට බණට හාමුදුරුවෙක් වඩම්ම ගන්න බැරි කාලයක් උදා වුනා.ලන්කාවේ සංඝාධිකරණ එහෙම මොකට තියනවද මන්දා.ඊට පස්සෙ මොබයිල් ෆෝන් ආවා.හොර මැර කම් වැඩි වෙයි කිවුවා.තව 1000ක් ජාති කිවුවා.සමහරුන්ට ෆෝන් කතා කරන්න භාවිතා කරන උපකරණයක් නෙවේ සෝභනයක් වුනා.අපේ කට්ටිය කොහොමත් අළුත් දෙයක් කලාතුරකිං සොයා ගත්තට අනුන් හදපුවා කරගහගෙන නයා යවන්න දස්සයිනෙ :) .

ඊට පස්සෙ කම්පියුටර් ආවා.ඉන්ටර්නෙට් ආවා.මේ කොයි දේකත් හොඳ දේවල් අනන්තවත් තියනවා.නරක දේවලුත් එහෙමමයි.ඒකට ඒ තාක්ෂණේට පළිද?රේඩියෝ එක, ටී වී එක, මොබයිල් ෆෝන් එක, කම්පියුටරේ , මේ කෝකත් කන්නෙ මිනිස්සු ගොං පාට් දන්න ගිහිල්ලා.ඒ දේවල් වල තරම දැනගෙන අපි ඒවට වහල් නොවී හිටියනං හරි.පොඩි පොඩි දෝෂ ඉතිං අපි කා අතිනුත් වෙනවනේ :) .

මටනං හිතෙන්නෙ අපි බුද්ධිමත්ව නොබලා ඔහේ එක් එක් තාක්ෂණයන්ට නොදැනුවත්වම වහල් වීම තමා මේකට හේතුව. මම මේ මෑතක ඉඳලා ෆේස් බුක් එකේ නෝටිස් කරනවා මිනිස්සු පුදුම විදියට පම්පෝරි ගහන්නයි(පොඩි පොඩි නයි අස්සේ මුචලින්දටත් වඩා පත නාග රාජයෝ ඉන්නවා :) ) තම තමන්ට ප්‍රතිරූප මවා ගන්නයි මේක යොදා ගන්න හදනවා.සමහර වෙලාවට හිරිකිතයි.මගේ යාළුවෝ සෙට් එකක් ෆේස් බුක් එකේ දාන්න ෆොටෝ ගන්නම කියලා රට ගියා.ඇයි හැමෝම එක්කො හිමේ ඉන්න පින්තූර දාලා, නැත්තං කාන්තාරෙක ඒවා දාලා.පුදුම පිස්සුවක් මේක.රටකට හරි දුර බැහැරකට හරි ගිය ගමං ගෙදර මිනිස්සුන්ට කියන්නත් කලින් ෆේස් බුක් එකේ ස්ටේටස් අප්ඩේට් කරලා.ඒ දාන ඒවට විකාර කමෙන්ට් දාලා පිස්සු කතා කියන්නත් තවත් කට්ටියක් දත මැදගෙන ඉන්නවා.කමක් නෑ. කොයි දේත් පොඩ්ඩක් සීමාවක් ඇතුව අප්පිරිය නොවෙන්න තිබ්බනං.කෑම කාලා සබං දාලා අත හෝදන්න බැරිවුනා කියලත් ෆේස් බුක් එකේ දාන ජොකියෝ දැං වැහි වැහැලා :) .

ගෑනු හනීමූන් ගිය පින්තූරත් දානවා.මිනිස්සු ලෝකෙ ඉන්න ඔක්කොම ගෑනුංව ඇඩ් කරගෙන පිතූර පීරනවා අරහෙං පේනවද මෙහෙං පේනවද බලන්න.මේ මෙලෝ සංසාරයක් තේරෙන්නෙ නැති බාල මහළු තව පිරිසක් තමංගේ ෆේස් බුක් එකවුන්ට් වෙන පිරිසකට කියලා මේන්ටේන් කරෝනවා.මේක නිකං ෆේස්බුක් නැතිවුනොත් ඔක්සිජන් නැතිවෙයි වගේ වෙලා.අපේ ඔෆිස් එකේ ෆේස් බුක් ප්‍රොක්සියෙං බ්ලොක් කරලා තියෙන්නෙ.මෙන්න යකෝ මුං ඒ ගමන එච් එස් පී ඒ ගහලා ෆේස් බුක් යනවා.පුදුම පිස්සුවක්.අබිං කාලා වගේ.ඒ ගමන යූ එස් බීත් බ්ලොක් කලා.මුංගෙ ගොං පාට් නිසා දැං වැඩක් කරගන්නත් නෑ.

ෆේස් බුක් වල තියන හොඳ දේවල් මම ලිවුවේ නෑ.ෆේස් බුක් වැරදි නෑ.වරද සම්පූර්ණ අපේ.මේක මේ අපි නොදැනුවත්ව වහල්ලු වෙන යුගයක් නෙ.ඔෆිස් එකෙං බ්ලැක් බෙරි දෙනවා.මිනිස්සුන්ට හරි ඉහළයි.හැමතැනම පෙන්න පෙන්න යනවා.මොකක්ද මේකෙ සැඟවුන න්‍යාය පත්‍රෙ? රෑ 12ට ඉතරත් මේල් ෆයර් වුනාම ගෙදර වැඩ ඔක්කොම පැත්තක තියලා ඔෆිස් එකේ වැඩ කරපං කියන එකනෙ.මේක අපේ මැටි මොළ වලට තේරෙන්නෙ නැති හැටි.ලැපක් දීලා වී පී එන් දෙනවා ඕනෙ වෙලාවක ඔෆිස් එකට කනෙක්ට් වෙන්න කියලා.ලැපකුත් දීලා ගෙදර ඉඳලම වැඩ කරන්න පුළුවං කියන එක අපේ කට්ටියටයි ගෙවල් වල අයටයි ඉතිං නියම ගොඩයට මැජික්ම තමා.ඊට පස්සෙ ඉතිං සෙනසුරාදයි ඉරිදයිත් ගෙදරට වෙලා ඔෆිස් වැඩ කරපංකො.නොදකිං අපි වගේ හරක්.ඔෆිස් ෆෝන් දීලත් කොම්පැනි කරන්නෙ මේ කෙළියම තමා.වහල් කං වලට අහු වෙලත් අපිට ඒවා හරි ලොකු වැඩ.කෝ එතකොට ලේ හලලා දිනා ගත්ත පැය අටේ වැඩ මුරය?කෝ අපිට ඕ ටී?හරි ඒ මුකුත් ඕනෙ නෑ.කෝ අපේ පවුල් සහ යහපත් ජන සමාජය.ගෑනි මිනිහගේ ෆේස් බුක් යාළුවෝ චෙක් කරනවා.මැසේජ් අවුට් බොක්ස් චෙක් කරනවා.මේල් ඔවුට් බොක්ස් චෙක් කරනවා.මිනිහත් ඒ ටිකම කරනවා.තම තමංගේ දුව පුතා, පෙම්වතා, පෙම්වතිය ගැනත් එහෙමම තමා(ගොඩක් අය).මේවා නිකං අපි අතරට නැති ප්‍රශ්න අරං ඇවිල්ලා.ගොඩාක් මිනිස්සු බොක්කෙ බිත්තර තම්බ තම්බ තමා ජීවත් වෙන්නෙ.මේ ඔක්කොම ප්‍රශ්න වහගෙන අපිත් මේවා කරනවා කියල පෙන්නන්න ඕනෙ කියන බොරු උජාරුවක් මෙහෙ කට්ටියට තියන එක තමා හෙනේ.නැත්තං මේ ගොඩක් දේවල් මේ වෙනකොට අපි අත අරින්න ඕනෙ.විඳින්න තියන ජීවිතේ නිකාං විඳෝනවා.

මේ තාක්ෂණේට වහල් වෙලා අපිට 30 වෙනකොටම කොලස්ට්‍රෝල්, ෂුගර්, ප්‍රෙෂර්.අපිට නොපෙනුනාට සැඟවුන මාරයා මේ තාක්ෂණේ තමා.අපිට සෙල්ලං කරන්න වෙලා නෑ, ගෙදර ඇවිත් විවේක අරං කතා කරලා ස්ට්‍රෙස් අඩු කර ගන්න වෙලා නෑ,වයිෆ් එක්ක සාප්පු යන්න, ළමයින්ගෙ ඉස්කෝලෙට ගොඩ වැදිලා එන්න වෙලා නෑ.මොනාටද මෙච්චර හම්බ කරලා.එහෙමද සුද්දො?සමර් කිවුවම මාස 3ක් ඉතර යනකං එකෙක් නෑ හොයා ගන්න.උන්ගෙ බහුතරයක් හොඳ බැලන්ස්.සම්පත් කලමණාකරණය කරගන්න බැරුව උදේ ඉදං රෑ වෙනකං රස්සාවක හරි ඉගන ගන්න තැනක හරි ජීවිතේ කම්බස් කරගන්න එක ආසියාවේ ගොං හැත්තට හරි ලොකුයි.

අපිට පටිච්ච සමුප්පාදෙ ඉගැන්නුවේ හතරෙදි.කෝ ඒවා?නිකං දන්නාව දන්නවා කියන්න ඉගනගත්ත මිසක් අපි ඒවා ඇප්ලයි කරන්නෙ නෑ.අපි කට්ටියවත් එකතු වෙලා අපේ ඊළඟ පරම්පරාවටවත් කියලා දෙන්න උත්සාහ කරමුද උගත්කමයි ඥානවන්තකමයි 2ක්, ඥානවන්ත වෙන්න උත්සාහ කරමු කියලා?මේ ෆේස්බුක් හුට පටේ නිකං ප්ලාස්ටරයක් විතරයි.අපි ගොඩ එනකං ඔය වගේ තව 1000ක් යක්කු වෙන වෙන ස්වරූප වලිං එයි.උන්ට ඔය වගේ පය බරවායට පිටිකර බේත් බඳින වෙද්දුත් ඕන හැටි ඉඳියි.ඒත් එහෙම වැඩක් නෑනෙ.කල් පවතින විසඳුමකට අපි හැමෝම පුළු පුළුවං විදියට දායක වෙමු.ඒකට හොඳම දේ තමා අපි දන්න කියන ඒවා බෙදා හදා ගන්න එක.

මේ ටික ගොඩ දවසක ඉඳං මගේ හිතේ හිර වෙලා තිබ්බා.අමනාප නෑනෙ? වැදගත් මාතෘකාවක් ගැන කතා කරලා තිබුනා කියලා හිතුන නිසයි ලිවුවේ :) .