1 people have left comments

nadeesthoughts said:

සල්ලි හම්බුකරන්නම හිතන දොස්තරලට ඒ වෛද්‍යවරයා ආදර්ශයක්. වෛද්‍ය විද්‍යාලයෙදි ලෙඩ්ඩු සමඟ නිවැරදිව කටයුතු කරන ආකාරය උගන්නන්නෙ නැද්ද කියලත් හිතෙනවා සමහර දොස්තරල ගාවට ගියාම.

රෝගීන් දැනුවත් කිරීම නම් අන්තිමයි සමහර දොස්තරලගෙ. ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙන්නෙ නෑ අපිට තේරෙන්නෙ නෑ කියල හිතලා.

ඇමරිකාවෙ නම් දොස්තර කෙනෙක් පැය 1/2 ක් වත් රෝගියාට ලබා දෙනවා.

දොස්තර හොඳම හිත නොහොත් පෙරුම් පුරලා පුරලා දැක ගත් බුදු දොස්තර මහත්තයා

ඉඳ හිට වැළඳෙන ලෙඩ රෝග පවුලේ දොස්තර මහත්තයාගේ බේත් වලට හොඳ නොවූ විට විශේෂඥ දොස්තර මහත්තයෙක් සොයා යාම අපි බොහෝ දෙනෙක් අනුගමනය කරන පිළිවෙතක් බවට පත්ව ඇති වග පුද්ගලික ඉස්පිරිතාල වල චැනල් පෝළිමෙන් සිතාගත හැක. එහෙත් බොහෝ අවස්ථා වලදී මහත් බලාපොරොත්තු පොදි බැඳගෙන විශේෂඥ දොස්තර මහත්තයා හමුවට යන අපට යළි පැමිණීමට සිදු වන්නේ හිතේ අමාරුවකිනි. එක්කෝ ඔහු හෝ ඇය ලෙඩාට නිසි අවධානයක් යොමු නොකරයි. එක්කෝ කිසිත් පරීක්ෂා නොකර උඩින් පල්ලෙන් බලා දඩිබිඩියේ බේත් නියම කරයි. එක්කෝ බැන වදියි. එක්කෝ නොරුස්සනා ස්වරූපයක් මවා පායි. නැතහොත් ලෙඩාට සවන් නොදේ.කළ යුතු පරීක්ෂණ, හැසිරිය යුතු ආකාරය හෝ බෙහෙත් පිළිබඳ කිසිදු පැහැදිළි කිරීමක් නොකරයි.මිල ගනන් අඩු හොඳ බේත් වර්ග තිබියදී ලෙඩා මෝඩයෙකියි සිතාගෙන අධික මිල ගණන් වල බෙහෙත් තුන්ඩු ලියා දේ(බෙහෙත් තුණ්ඩුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දුන් විට තත්වය බලාගත හැක).

කොස් ලී, තේක්ක ලී, පොල් ලී වලින් වැඩ කරන හැටි දන්නේ වඩු බාස් වුනාට ඒ ඒ ලී යොදා ගන්නේ කුමන මෝස්තරයට කුමක් සඳහාද යන්න නිවෙස් හිමියා දනියි. මේ සරළ සිද්ධාන්තය ඇතැම් දොස්තර මහත්තුරුන්ට නොතේරෙන හැඩය.ඔවුන් සිතන්නේ ලෙඩේ ගැනත් බෙහෙත් ගැනත් ලෙඩා සහ පවුලේ අය දැනගැනීම අනවශ්‍ය බවය. නැතහොත් ඒවා දොස්තරලා නොවන අය නොදන්නා බවය.

එහෙත් මේ සියළු ඍනාත්මක සිතුවිලි සුණු විසුණු කරමින් වෛද්‍ය වෘත්තියත් මිනිස් කමත් ආලෝකමත් කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ දොස්තර මහත්තයෙක් හමුවීමේ භාග්‍ය මීට සතියකට පෙර අපට හිමි විය.

මගේ බිරිඳගේ බඩේ ලෙඩක් සඳහා අපි දොස්තර මහත්තයෙක් සොයා බැලුවෙමු.නම අසා හුරු දොස්තර මහත්තයෙක් නොසිටි නිසා අපි හොඳ යයි අනුමාන කර ඇපොයින්මන්ට් එකක් දැමීමු.නියමිත දිනයේ නියමිත වේලාවට රෝහලට ගොස් අපේ වාරය පැමිණෙන තුරු රැඳී සිටියෙමු.දුටුවන් ප්‍රිය උපදවන තලතුනා මහාචාර්යය දොස්තර මහතා මදහසක් පාමින් චැනල් කාමරයට ඇතුළු විය.ඔහු එක් රෝගියකු සඳහා විනාඩි 20ක් 25ක් ගත කළේය.

බොහෝ රෑ වීමට ප්‍රථම ගෙදර යාමට තිබුනා නම් හොඳ යයි සිතමින් අපි අපේ වාරය එන තෙක් රැඳී සිටියෙමු.දැන් අපේ වාරයයි.චැනල් කාමරයට පිවිසුනු අපට ඔහු අදාල ස්ථානයන්හි අසුන් ගන්නට සැලසීය.ඉන්පසු හොඳ අවධානයෙන් රෝග ලක්ෂණ විමසීය.

ඇතැම් තැන්හි නිවැරදි තොරතුරු කීමට පැකිලෙන විට සුදුසු පරිදි උපහාසාත්මකව යමක් කියමින් ඔහු ඒවා දැනගන්නට සමත් විය.දැන් ඉන්නා බොහෝ දොස්තර මුදලාලිලා මුලින්ම අහන්නේ ක්ලේම් කරනවාද?රස්සාව කරන්නේ කොහේද කියාය.ලෙඩේ අහන්නේ ඊට පසුය.අපේ තාත්තා නම් එවිට පිළිතුරු දෙන්නේ මම තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කර දැන් පෙන්ෂන් කියාය.එවිට දොස්තර මහත්තයා ගාන සාධාරණ බේත් ලියයි.නැත්තම් වෙන්නේ දොස්තර මහත්තයාට සන්තෝසම් දෙන බෙහෙත් ඒජන්සි කාරයා පෝසත් කිරීමට අපට සිදුවීමය.

කෙසේ වෙතත් මේ දොස්තර මහත්තයා එසේ කළේ නැත.රිපෝර්ට් වගයක් ගතයුතු බවත් අපට ඒවා ක්ලේම් කිරීමට හැකිදැයි පමණක් ඔහු ඇසීය.ඔහු එය ඇසූයේ අප කෙරේ අව්‍යාජ අනුකම්පාවෙන්ම වගෙ ඔහුගේ ඉරියවු වලින් මොනවට දිස් විය.රිපෝර්ට් කීපයක් ගත යුතු බවත් ඒවා ඔක්කොම එකපාර නොගෙන එක් එක් පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව ගමු යයි ඔහු යෝජනා කළේය.රිපෝර්ට් නොමැතිව නිශ්චිතව කිව නොහැකි වුවත් ඔහු රෝග නිධානය අනුමානයෙන් පවසා එය පහදා දීමටද කාරුණික විය.පසුව රිපෝර්ට් ලද පසු ඔහුගේ අනුමානය නිවැරදි වග අපට ඒත්තු ගියේය.

අප දෙදෙනා දෙස බැලූ විට අප මෑතකදී විවාහ වූ වග තේරුම් ගැනීමට ඔහුට අපහසු නොවීය.බඩේ ලෙඩේ ආහාර රටාව හා සම්බන්ධ වග පෙනුනු නිසා ඔහු අපට වැදගත් ඔවදනක් ඔහුගේ කුඩා කාලයේ සිදුවීම පෙළක් සමග කියාදුන්නේය.තමන් අවුරුදු නවයේදී පාන්දර 5.30 කෝච්චියෙන් ගල්කිස්සට පාසල් එන විට පාන්දර 5ට පමණ සිය මව සොයුරු සොයුරියන් සමග එක මේසයක වාඩි වී ආහාර ගත් අයුරු ඔහු සිහි කළේය.පොඩි පොඩි හොඳ පුරුදු අම්මා ප්‍රැක්ටිකලි කියාදුන් හැටි දශක 5කට පමණ පසු ඔහු අගය කළේය.වෙලාවට කන්න යයිද කන කොට එකට හිඳ කෑම ගන්න යයිද ඔහු පැවසූයේ ‘eat together stick together’යයි කියමිනි.

හොඳම වැඩේ නම් බුදු දොස්තර මහත්තයා කතෝලික බැතිමතෙකු වීමයි.අප දෙදෙනා බෞද්ධ යයි ඔහු දැනගත්තේ කෙසේදැයි මම නොදනිමි. ‘pray together stick together’යන කියමන ඔහු අපට ගැළපෙන පරිදි වෙනස් කර දුන්නේය.පොඩි කාලෙ එකට හිටපු අපේ පවුලේ අය තාමත් එකතු යයි ඔහු සිනා මුසු මුහුණින් පැවසීය.කනකොට ටී වී නොබලා එකට වාඩි වෙලා කන්න පුළුවන්න් නම් කොච්චර හොඳ දැයි ඔහු ඇසීය.අපි ටී වී බලන්නේ ඉතා අඩුවෙන් වග ඔහුට කීවෙමු.ඔහු එය අගය කළේය.

වෛද්‍ය වෘත්තියේ යෙදෙමින් රොගීන්ට වෙද හෙද කම් කරන අතරම මහාචාර්ය වරයකු ලෙස වෛද්‍ය විද්‍යාලයේ දූ දරුවන්ගේ නැණස පෑදීමේ ඔහු යෙදී සිටියි.ඊට අමතරව නියම වැඩිහිටි පුරවැසියෙක් ලෙස තමන්ට හැකි පරිදි යහ පුරුදු මතු පරපුරට කියාදීමටත් ඔහු විනාඩියක් දෙකක් මිඩංගු කරන වග අපට හොඳින්ම පෙනුනි.

එදා අපි චැනල් කාමරෙන් එළියට ආවේ බේත් නැතුවම ලෙඩේ බාගයක් හොඳ වෙලා.ඊට පසු දෙවතාවකදීත් අපි දොස්තර මහත්තයාගෙන් බෙහෙත් ගන්න ගියා.සුපුරුදු පරිදිම කාරුණිකව ක්‍රියා කරපු එතුමා රෝග ලක්ෂණ, එහි ස්වභාවය, ගත යුතු ක්‍රියාමාර්ග කොල වල ඇඳලා පැහැදිලි කරලා දෙන්න තරම් කාරුණික වුනා.සල්ලි පස්සෙම එළවන අකාරුණික දොස්තර මුදලාලිලාට මේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා ආචාර්ය දොස්තර මහත්තයා හොඳ ආදර්ශයක්.

මම හිතන්නේ පොඩි කාලෙ බලපු අර කාර්ටුන් එකේ හිටපු දොස්තර හොඳ හිතට පස්සෙ මම දැකපු හොඳම දොස්තර මහත්තයා මෙයා තමා.දොස්තර මහත්තයාගේ නම තමා මහාචාර්ය දයාසිරි ප්‍රනාන්දු.

1 comment:

  1. සල්ලි හම්බුකරන්නම හිතන දොස්තරලට ඒ වෛද්‍යවරයා ආදර්ශයක්. වෛද්‍ය විද්‍යාලයෙදි ලෙඩ්ඩු සමඟ නිවැරදිව කටයුතු කරන ආකාරය උගන්නන්නෙ නැද්ද කියලත් හිතෙනවා සමහර දොස්තරල ගාවට ගියාම.

    රෝගීන් දැනුවත් කිරීම නම් අන්තිමයි සමහර දොස්තරලගෙ. ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙන්නෙ නෑ අපිට තේරෙන්නෙ නෑ කියල හිතලා.

    ඇමරිකාවෙ නම් දොස්තර කෙනෙක් පැය 1/2 ක් වත් රෝගියාට ලබා දෙනවා.

    ReplyDelete